නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං බුද්ධගතා සති’

‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං ධම්මගතා සති’

‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං සංඝගතා සති’

‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - අහිංසාය රතො මනො’

‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - භාවනාය රතො මනො’

සැදැහැවත් පින්වතුනි,

මේ ඇසල පුර පසළොස්වක පෝය දවස අපට සිහිගන්වන්නෙ බුදු පියාණන් වහන්සේ දෙවි මිනිසුන් හමුවෙහි තැබූ ජීවිතය පිළිබඳ හරි දැක්මයි, සම්‍යක් දෘෂ්ටියයි. එදා ඒ ධම්මචක්කප්පවත්තන සුත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ මධ්‍යම ප්‍රතිපදාව නමැති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙනි පියවර තමයි සම්මාදිට්ඨිය. අන්න ඒ සම්මා දිට්ඨියෙන් අලෝකවත් වුනු, සම්මා දිට්ඨිය අනුව ගිය, ජීවන ප්‍රතිපත්ති තුළින් කෙනෙකුට එදිනෙදා ජීවිතයේ ලබාගත හැකි සහනය, සතුට, සැනසීම, ආරක්ෂාව පෙන්නුම් කෙරෙන, ප්‍රකාශ කෙරෙන, ගාථා ටිකක් තමයි අපි මේ මාතෘකා කර ගත්තේ අද දවසෙ.

මේ ගාථා දේශනා කරන්ට යෙදුනෙ බුදුපියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදියි. ඒකට හේතුවුනු නිදාන කථාව මෙන්න මේ විදියටයි දක්වෙන්නෙ.

රජගහ නුවර සම්‍යක් දෘෂ්ටික පවුලක දරුවෙකුත් මිථ්‍යා දෘෂ්ටික පවුලක දරුවෙකුත් එක්වෙලා එකට නිතිපතා ගුළ ක්‍රීඩා කරන්න පටන්ගෙන තිබුනා – ගුළ ක්‍රීඩා කියල කියන්නෙ - ඒ කාලෙ තිබුන යම්කිසි බෝල ක්‍රීඩාවක්. මේ ක්‍රීඩා කරන අතරේ අර සම්‍යක් දෘෂ්ටික දරුවා බෝලය විසි කරන හැම වාරෙකම ‘නමො බුද්ධස්ස’ කියා කියනවා. අර මිථ්‍යා දෘෂ්ටික පවුලේ දරුවා බෝලය විසි කරන්නේ ‘නමො අරහන්තානං’ කියලා. එතන අදහස් කරන්නෙ තීර්ථකයන්ට වන්දනා කිරීම. මෙහෙම කරන කොට සම්‍යක් දෘෂ්ටික දරුවා දිනනවා. අනිත් කෙනා පරදිනවා.

අනිත් දරුවා කල්පනා කරනවා ‘දැන් මගේ යාළුවා දිනන්නෙ අර බුදු රජාණන් වහන්සේ සිහිපත් කරන නිසයි’ කියලා එයා පටන් ගත්ත බුද්ධානුස්සතිය වඩන්න. ඉතින් මේ ළමය බුද්ධානුස්සතිය වඩන අතරේ දවසක්, ළමයාගෙ පියා මේ ළමයත් එක්ක ගෙන කරත්තෙත් බැඳගෙන කැලයට ගියා දර ගේන්න. උදේවරුවෙ දර ටික කරත්තෙ පටවගෙන, දවල් නගරයෙන් පිට සොහොනක් ළඟ කරත්තෙ ලිහල ආහාර එහෙම ගත්ත. ඒ අතරෙ අර හරක් දෙන්න නගරයට ඇදෙන ගවයින් එක්ක නගරෙ ඇතුළට වැදුනා. ඉතින් ඊළඟට ආහාර අරගෙන ඉවරවෙලා කරත්ත කාරයා වටපිට බලන කොට හරක් නෑ. ඒ නිසා නගරයට ඇතුල්වුනා හරක් සොයා ගන්න. එහෙම හරක් දෙන්නා සොයාගෙන ආපහු එනකොට නගරයෙ දොර වහන වෙලාව - හැන්දෑ වෙලා. ඒක නිසා ඒ මනුස්සයට එළියට එන්න බැරිවුනා. ඉතින් අර කුඩා දරුවා කරත්තේ යට රෑ බුදිය ගත්තා.

සොහොන කිට්ටුව නිසා අමනුෂ්‍යයින් බොහොම සිටිනවා. යක්ෂයින් දෙන්නෙක් - එක යක්ෂයෙක් සම්‍යක් දෘෂ්ටිකයි, ඒ කියන්නෙ තුණුරුවන්ට ලැදි කෙනෙක්, අනිත් යක්ෂයා මිථ්‍යා දෘෂ්ටිකයි. මේ දෙන්නා මේ දරුව ඉන්නව දැක්කා. අර මිථ්‍යා දෘෂ්ටික යක්ෂයා කියනවා. “මෙන්න හොඳ කෑමක් තියෙනවා, අපි කමු.” කියලා. එතකොට අනිත් කෙනා ඒක වළක්වන්න උත්සාහ කළා. නමුත් මෙයා කකුලෙන් ඇද්ද අර දරුවගේ. අදිනවත් එක්කම අර දරුවා ‘නමො බුද්ධස්ස’ කියලා කිව්වා. ඒ කිව්ව හැටියෙ යක්ෂයා බයවෙලා හිටගත්ත. ඊළඟට අනිත් කෙනා කිව්වා අපි ලොකු වැරැද්දක් කළෙ. ඒක නිසා අපි ඒකට දඬුවම් විඳින්න ඕනය කියලා. දෙන්න එකතු වෙලා රෑ තිස්සේ අර දරුවා මුරකළා. ආරක්ෂාව සලසා උන්නා. ඒ වගේම මිථ්‍යා දෘෂ්ටික යක්ෂයා රජ ගෙදරට ගිහිල්ලා රන් හාජනයකට ආහාර අරගෙන ආවා. ඇවිල්ල රාත්‍රියේ මවුපියන් වගේ වෙස් වළාගෙන අර දරුවට ආහාර පානත් දීල රැකවරණයෙ යෙදුනා. ආහාර ගත්තට පස්සේ යක්ෂයා තමාගේ ඍද්ධි බලයෙන් හාජනයෙ අකුරු ටිකක් කෙටුවා. ‘රජතුමා පමණක් මෙය දකීවා’ කියල - මේ කාරණය පිළිබදව - මේ හාජනය මෙතෙන්ට ආපු හැටි. එහෙම කරලා අර හාජනය කරත්තෙ දමලා යක්ෂයො අතුරුදහන් වුනා.

  ඉතින් ඊළඟට උදෑසන රජගෙදර අය හාජනය නැතිවුනයි කියල වටපිට බලලා, නගරය තුළ පරීක්ෂා කරලා එළියට ඇවිල්ලා අර කරත්තය දක්කහම කරත්තය පරීක්ෂා කරන කොට ඔන්න රත්තරං හාජනය දක්කා. දැකලා දරුවා අල්ලාගෙන ගියා හොරයා කියලා හිතාගෙන. ඊළඟට රජ්ජුරුවො ළහට ගෙනිච්චට පස්සෙ හාජනයත් එක්ක, රජ්ජුරුවො මේ අකුරු දකලා, ‘මොකද මේකේ සිද්ධිය?’ කියලා ඇහුවහම අර දරුවත් කිව්වා “මම දන්නෙ නෑ. රෑ තිස්සේ මගේ අම්මයි තාත්තයි ඇවිල්ල ආහාර දීල මාව ආරක්ෂා කළා. ඒ ටිකයි මම දන්නෙ” කියලා. ඒ වෙලාවෙ ඒ දරුවගෙ මවුපියොත් පැමිණියා. රජ්ජුරුවො අර දරුවත් මවුපියනුත් එක්ක බුදු රජාණන් වහන්සේ ළහට ගියා. ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ බුද්ධානුස්සතියෙන් පමණක්ද ඇත්ත වශයෙන්ම ආරක්ෂාව ලැබෙන්නෙ, වෙන දේවලුත් තිබෙනවාද කියලා. ඔන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මේ ගාථා හයෙන් දේශනා කර වදාළේ, කෙනෙකුගේ ජීවිතය තුළ මෙන්න මේ හය ආකාරයෙන්ම හිත යොදවනවා නම්, සිත සතන් පවත්වනවා නම්, ඒ තැනැත්තාට අමුතු ආරක්ෂාවල් අවශ්‍ය නෑ. මන්ත්‍ර ආදියක් අවශ්‍ය නෑ. මේකම ලොකු ආරක්ෂාවක් කියලා ඒ කාරණය පෙන්නුම් කරන්නයි අර ගාථා ටික වදාළේ.

ඒ ගාථාවල සාමාන්‍ය අර්ථයත් අපි ඊළඟට සළකලා බලමු.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං බුද්ධගතාසති

‘නිතිපතාම, රෑ දාවල් දෙකේම, බුද්ධානුස්සතිය වඩන, බුදුගුණ සිහිකරන, ගෞතම ශ්‍රාවකයෝ හැමකල්හිම උදෑසන ප්‍රබෝධවත්ව පිබිදෙත්’, කියන එකයි ඒ ගාථාවෙ අදහස. ඒ විදියටම තමයි ඊළඟටත් කියවෙන්නෙ. -

සුප්පබුද්ධං පබුජ්ඣන්ති - ………………….
……………… ……….. - නිච්චං ධම්මගතාසති

ධම්මානුස්සතිය වඩන අය, ධර්මය මෙනෙහිකරන අය, ඒ වගේම ප්‍රබෝධවත්ව උදෑසන පිබිදෙනව. ඊළහ ගාථාවෙ තියෙන්නෙ සංඝානුස්සතිය පිළිබදව. සංඝානුස්සතිය වඩන අයත් ඒවගේම ප්‍රබෝධවත්ව පිබිදෙනවා. ඊළඟට කියවෙන්නෙ කායගතා සති භාවනාව - කය අනුව ගිය සිහිය - වඩන අයත් උදෑසන ප්‍රබෝධවත්ව පිබිදෙනව කියල. ඊළඟ ගාථාවෙ කියවෙනවා.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - අහිංසාය රතො මනො

යම් ගෞතම ශ්‍රාවකයින් රෑ දවල් තිස්සේ අහිංසාවට ඇලුම් කරනව නම්, අවිහිංසාවට හුරු සිතුම් පැතුම් පවත්වනව නම්, ඒ අය ප්‍රබෝධවත්ව පිබිදෙනවා.

ඊළඟට කියවෙන්න –

සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ව රත්තෝ ව - භාවනාය රතො මනො

යම් ගෞතම ශ්‍රාවකයින් රෑ දවල් දෙකෙහි භාවනාවට ඇලුම්ව වාසය කරනවා නම් ඒ අය ප්‍රබෝධවත්ව පිබිදෙනවා කියලයි.

මෙතන පොඩි කාරණයක් කියන්න තියෙනවා. දැන් අර්ථ කථනයේදී අර අන්තිමට කියාපු ගාථාවල් තේරීමේදි පොත්පතේ මෙහෙම කියනවා. ‘අහිංසාය රතො මනො’ කියල කියන්නෙ කරුණා භාවනාවය, ‘භාවනාය රතො මනො’ කියල කියන්නෙ මෛත්‍රී භාවනාවය කියලා. ඔය විදියට අර්ථ සීමා කරනවා. නමුත් වඩා හේතු සහිතය කියල හිතෙනවා අතන ‘අහිංසාය රතො මනො’ කිව්වේ මෛත්‍රී කරුණා ආදී වශයෙන් අවිහිංසාවට හුරු සිතිවිලි පැවැත්වීමය, කියල ගැනීම. වෙනම කරුණා භාවනාවක් වශයෙන් නෙවෙයි. ඊළඟට ‘භාවනාය රතො මනො’ කියන එක, අපි හිතන්නෙ වඩා අර්ථවත් වෙන්න පුළුවන් පොදුවෙ භාවනාවට ලැදි සිතක් ඇතිව සිටීම කියල ගත්තහම. මොකද, මෛත්‍රී, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන පිළිවෙළමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නෙ. මෙතන කරුණාව පළමුවෙන් කියල ඊළඟට මෛත්‍රීය ගැන කිව්ව කියල හිතන්න අමාරුයි. මෙතන වඩා අර්ථවත්ව, වඩා පුළුල් අර්ථයකින් ගන්න පුළුවන් ‘අහිංසාය රතො මනො’ කියන්නෙ අවිහිංසාවට අනුව සිතිවිලි පැවැත්වීමය, ‘භාවනාය රතො මනො’ කියන්නෙ භාවනාවට ලැදිව එදිනෙදා ජීවිතය ගත කිරීමය කියලා ගත්තහම.

කොහොම නමුත් මෙන්න මේ ගාථා හයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබුවේ ප්‍රබෝධවත්ව පිබිදීමේ මගයි, දවස හොඳාකාර ගත කිරීමට. මේ කථාන්තරය තුළින් පෙන්නුම් කෙරෙන්නෙ බුද්ධානුස්සතියෙන් ලැබෙන රැකවරණයයි. ඒකෙ තිබෙන මහානුභාව සම්පන්න බවයි. මේ පින්වත් පිරිසෙ හැම කෙනෙක්ම දන්නවා, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන ඒ ත්‍රිවිධ රත්නය ඇත්ත වශයෙන්ම හැම කෙනෙකුටම ආරක්ෂක මන්ත්‍රයක් හැටියට තිබෙන බව. ඒකට හේතුව මොකක්ද? විශ්වය තුළ බුද්ධරත්නයේ ගුණය කැවිලා තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුළින් බුද්ධ ගුණය විශ්වයට කැවිලා තිබෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කිරීම තුළින් යම්කිසි ආරක්ෂාවක් සැලසෙන ධම්තාවකුත් තියෙනව. ඒක අපට හොඳට පැහැදිලිව පෙනෙනවා බුදුපියාණන් වහන්සේගේම වචනවලින්. ධජග්ග සුත්‍රයේ - දන් ධජග්ග පිරිත නමින් හැඳින්වෙන ධජග්ග සුත්‍රයේ - බුදු පියාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනව ‘මහණෙනි, නුඹලා වනාන්තරගතව, රුක්මුල් ගතව, පාලු ගෙවල් වලට ගිහිල්ලා බණ භාවනා කරන අවස්ථාවල යම්කිසි භයක්, තැතිගැන්මක්, ලොමු දහගැන්මක් ඇතිවුනොත්, ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ, ඒ කියන්නෙ මාව, මෙනෙහි කරන්න. මෙන්න මේ විදියට - ’ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො …..’ කියන ඒ පාඨයෙන් මාව සිහිපත් කරන්න. එහෙම සිහිපත් කරන කොට ඒ තිබුන භය, තැතිගැන්ම, ලොමු දහගැන්ම, නැතිවෙල යනවය. මා ගැන මෙනෙහි කරන්නෙ නැත්නම්, සිහිපත් කරන්නෙ නැත්නම්, ධර්මය ගැන සිහිපත් කරන්නය. ‘ස්වාක්ඛාතො’ ආදි පාඨයෙන්. එතකොටත් ඒ භය නැතිවෙල යනවය. එහෙමත් නැත්නම් සංඝයා සිහිකරන්නය ‘සුපටිපන්නො’ ආදි වශයෙන්. අන්න ඒ විදියට ධජග්ග පිරිතෙ බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කරනවා.

මේ පින්වතුන් කවුරුත් අහලා තියෙනවා රතන සුත්‍රයේ ත්‍රිවිධ රත්නයේ ශක්තිය මූල් කරගෙන විසාල මහනුවර අමනුෂ්‍ය බියක් ඇතුළ තුන්බියක් දුරු කිරීම සඳහා පිරිතක් වශයෙන් - පරිත්‍රාණ කියල කියන්නෙ ආරක්ෂාව - පිරිතක් වශයෙන් බුද්ධ ගුණය, ධර්ම ගුණය, සංඝ ගුණය සත්‍යක්‍රියා වශයෙන් ප්‍රකාශ කිරීමෙන් ඒ තුන්බිය දුරු කළ බව. මෙයින් අපට හොඳට පේනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනා වශයෙන් පමණක් නොවෙයි පරිත්‍රාණ හැටියටත් සලකන්න පුළුවන්ය කියන එක. පිරිතක් හැටියට තමන්ට ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් මේ කථාන්තරයෙන් පෙන්නුම් කෙරෙන්නෙත් ඒකයි. අර මිථ්‍යා දෘෂ්ටික පවුලක දරුවෙක් නමුත් සම්‍යක් දෘෂ්ටික දරුවෙක් බුද්ධානුස්සතිය වඩලා ඒයින් යම්කිසි ආනිසංසයක් ලබන බව දකලා බුද්ධානුස්සතියට හුරුවුනා. එතන ඉදලා ඒකෙ ආනිසංස ඉබේටම, ස්වාභාවිකවම වගේ, විපතක් පැමිණියහම පුරුදු කරගත්තු කමටහන කියවෙන ගතියක් තියෙනවා. දන් මේ කාලෙත් - අපි හිතන්නෙ - සමහරවිට මේ ජාතියට අර බෞද්ධ ඌරුව කැවුන නිසා වෙන්න ඇති, විපතක් වුනාම, ‘බුදු අම්මේ’ කියල කියන්නෙ. සාමාන්‍යයෙන් ‘අම්මේ’ කියනවා විතරක් නොවේ, ‘බුදු අම්මේ’ කියලා කියනවා. බුදු රජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඒ වගේ මෙතන ‘නමො බුද්ධස්ස’ බුදු රජාණන් වහන්සේ සිහිපත් කළ හැටියේ අර යක්ෂයා බයවුනා බුද්ධ ගුණයට - බුද්ධ තේජසට. ඉතින් ඒකෙන් අපට පේනවා බුද්ධානුස්සතියේ ඇති ශක්තිය. රැකවරණයක් වශයෙන් ඒකෙ ඇති ශක්තිය. ඒ වගේම මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති’ කියන පදයෙන්, ප්‍රබෝධවත්ව නැගිටින්න උපකාර වෙන බව. ඒ කියන්නෙ දවසෙ හොඳට බුදු ගුණට යොමු කරපු සිතෙන් ජීවත් වෙනවා නම් ඒ තැනැත්තාට විශාල සැනසිල්ලක් ලැබෙනවා.

මේ ගාථා පෙලෙන් ප්‍රධාන වශයෙන්ම අපි සැළකිල්ල යොමු කරන්න ඕන මේ කවුරුත් වගේ දන්න, ඒ වගේම පුහුණු කරන බුද්ධානුස්සති භාවනාවට. ඒ ගැන විශේෂයෙන් යමක් කිවයුතුව තියෙනවා. අනිත් දේවලුත් අපට කෙටියෙන් සඳහන් කරන්න වෙනවා කාලය තියෙන හැටියට. බුද්ධානුස්සති භාවනාව ගැන කල්පනා කරලා බලනවා නම්, මේ හැමදෙනෙක්ම දන්නවා බුදු පියාණන් වහන්සේගේ නව ගුණය. නව ගුණ පාඨය ආශ්‍රයෙනුයි බුද්ධානුස්සතිය වඩන්නෙ. එක්කො නවගුණ පාඨය සම්පූර්ණයෙන්ම කියනවා. එහෙම නැත්නම් මේ එක එක ගුණයක් සවිස්තරව - විස්තර සහිතව - ප්‍රකාශ කිරීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒ විදියට බුද්ධානුස්සතිය වඩන ක්‍රමයක් කාලයක් තිස්සේ තියෙනවා. නමුත් අපට හිතෙනවා, සමහර විට එක එක පදය ඒ විදියට විග්‍රහ කරන්න ගියාම හිත විසිරෙන ස්වභාවයක් ඇතිවෙනව කියල. දන් බුද්ධානුස්සතිය හැටියට තියෙන ඒ කම්ස්ථාන කොටසෙ නව ගුණය මේ විදියටයි දැක්වෙන්නෙ:-

‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’

මෙතන ගුණනවයක් සඳහන් වෙනව. ඔය එක එකක් අරගෙන ඒවා පිළිබඳව නොයෙකුත් විදියට ශාස්ත්‍රීය අන්දමින් විස්තර කරන සිරිතක් තියෙනවා. ඒවායේ නිරුක්ති ඔස්සේ ගිහිල්ල විස්තර කරලා ඒවා කිය කියා ඉදීම භාවනාවක් හැටියටත් ඇතැම් කෙනෙක් සළකනවා. නමුත් කල්පනා කරන්නට ඕන දැන් බුදුගුණ ඇසුරෙන් ලියාපු පොතක් කියවීමත්, බුදුගුණ භාවනා කිරීමත් අතර යම්කිසි විශේෂයක් තිබෙන්ට ඕන කියල. වෙනසක් තිබෙන්ට ඕන කියල. බුදුගුණ ඇසුරෙන් ලියාපු පොතක් නම් ඔන්න සවිස්තරව බොහොම ලස්සන පාඨ සහිතව කිය කියා යම්කිසි කුසල් සිතක් වඩා ගන්න අවස්ථාව තියනවා. නමුත් හොඳ සමාධියක් ලැබෙන්නෙ නෑ. ඒ තුළ සිත විසිරෙනවා. ඒ වෙනුවට බුද්ධානුස්සතියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇත්ත වශයෙන්ම අර එක එක පදයක් තුළට බැහැලා ඒ තුළින් බුදු රජාණන් වහන්සේ දකින්න පුරුදු වීමයි. දන් බොහෝ විට ‘අරහං’ කියන පද උගතුන් ශාස්ත්‍රීය අන්දමට විග්‍රහ කරල ඒ වචනයේ මූලික අර්ථයටත් වඩා ඇතින් පිහිටි අනියම් අර්ථ රාශියක් ඈඳලා ඒ භාවනායෝගියාට භාරකරනවා, ඒවා ඉලක්කම් වශයෙන් මෙන්න මේවා කියන්න කියලා. ඒක තුළින් ඇත්ත වශයෙන්ම හිත විසිරෙනවා මිසක් හිත එක්තැන් වෙනවා කියලා හිතන්න අමාරුයි. සිත සමාධිමත් වෙන්නෙ නෑ. භාවනාවක පරමාර්ථය විය යුත්තේ සිත සමාධිමත් වීමයි. එකඟ වීමයි. එකඟවීමට ඒ තරම් අදාළ වෙන්නෙ නෑ අර වචන රාශියක්, පාඨ රාශියක්, වර්ණනා රාශියක්.

ඒ වෙනුවට කරන්න ඕනෙ මේ එක එක පදයක සාමාන්‍ය අර්ථය සළකලා, ඒකට හැකිතාක් දුරට තමන් හදවතින් ළං වීමයි. අර පුංචි රාහුල කුමාරය බුදු රජාණන් වහන්සේ ළහට කිට්ටු වෙලා “මහණ, ඔබේ සෙවනැල්ලත් මට සැපයි” කියල කිව්ව වගේ මේ එක එක පදය තුළින් බුදු රජාණන් වහන්සේ දකින්න පුරුදු වෙන්න ඕන - ඒ පදය තුළට බැහැල. ඒතකොට සාමාන්‍ය අවබෝධය පමණක් අවශ්‍යයි - ඒ වචනවල අර්ථය වශයෙන්. දන් කෙටියෙන් කියනවා නම් අවස්ථානුකුලව, ‘අරහං’ කියන පදයෙ මූලික අර්ථය පූජා ලැබීමට සුදුසු බවයි. බුදු පියාණන් වහන්සේගේ ගුණ මහන්තත්වය නිසා, පූජනීයත්වය නිසා, පූජා ලැබීමට සුදුසුයි. ඒකත් ඕන නම් ආමිස ප්‍රතිපත්ති යන පූජා දෙකෙන්ම පිදීමට තරම් සුදුසු උත්තමයෙක් කියල හිතුවම ඇති. ඒ ඇරෙන්න වෙන නොයෙකුත් අර්ථ, අමතර අර්ථ කථන, එතෙන්ට අදාළ නෑ.

  ඊළඟට ඒ වගේම තමයි ‘සම්මාසම්බුද්ධො’ කියන එකත්. සම්‍යක් සම්බුද්ධ කියන්නෙ තමන් වහන්සේම - ස්වයංභූ ඥාණය කියල කියනවා - තමන් වහන්සේම හොඳාකාරව චතුරාය සත්‍යය, එහෙම නැත්නම් ඒ බුද්ධඥානයෙන් සංසාරය පිළිබද, ජීවිතය පිළිබද, රහස තෝරා ගත්තා. ඒ ආර්ය සත්‍යයන් තමන් වහන්සේම හොඳින් අවබෝධ කරගත්තා - වෙන ගුරුවරයෙකුගේ, වෙන කෙනෙකුගේ, උපදෙස් රහිතව, ඒවා නැතිව. අන්න ඒ විශේෂත්වයයි ‘සම්මා සම්බුද්ධ’ කියන වචනය තුළ තිබෙන්නෙ.

ඊළඟට ‘විජ්ජාචරණ සම්පන්නො.’ ඒ වගේම විජ්ජා-චරණ කියන වචන දෙක තුළ තියෙනවා බුදුපියාණන් වහන්සේගේ ගුණ සම්භාරයේ දෙපැත්තක්. ‘විජ්ජා’ කියල එතන කියන්නෙ විදර්ශනා ආදී ඥාණ වශයෙන් ඇති දැනුම් කොටස - කෙනෙකුගේ ජීවිතයේ ඥානය, දැනුම කියලා කියන එක, එක පැත්තක්. ඊළඟට හැසිරීම අනිත් පැත්ත. ඉතින් මෙතන බුදු පියාණන් වහන්සේ ඒ අංග දෙකෙන්ම සම්පූර්ණයි. ඇතුම් කෙනෙක් සමාජයේ සිටිනවා හොඳට දැනුම තියෙනවා හැසිරීම ගන්න දෙයක් නෑ. සමහර කෙනෙක් හොඳට හැසිරෙනවා. නමුත් අවබෝධ ශක්තියෙන් දුර්වලයි. අන්න එහෙම නැතුව බුදුපියාණන් වහන්සේ මේ දෙකෙන්ම සම්පූර්ණයි. ඒක හරියට - ‘විජ්ජා’ කියන එක ඇස්දෙක නම්, ‘චරණ’ කියල කියන්නෙ, චරණධම් කියල කියන්නෙ, පා දෙක නම්, අන්න ඒ ඇස් දෙකත් පා දෙකත් කියන ඒ අංග දෙකෙන්ම සම්පූර්ණයී. මේ ප්‍රතිපදාවේ යාමට අවශ්‍ය මූලික කරුණු දෙකෙන්ම සම්පූර්ණයී. ඒතකොට ‘විජ්ජාචරණසම්පන්න’ ගුණය තුළින් බුදු පියාණන් වහන්සේ මේ දෙ අංශයෙන්ම යුක්ත බව තේරුම් ගන්න පුළුවන්.

ඊළඟට ‘සුගතො’ කියල කියන්නෙ - ඒකත් නානා අන්දමින් තෝරනවා - මනා ගමන් ඇති, හොඳ ගති ඇති කියල නොයෙකුත් ආකාරයෙන් තෝරනව. නමුත් සුගත කියන එක අපි අර්ථවත්ව ගන්න තියෙන්නෙ, බුද්ධත්වය සඳහා, එහෙම නැත්නම් නිර්වාණය සඳහා, යායුතු මාර්ගයේ ප්‍රතිපදාවේ - හොදින් ගමන් කළා. ඒ ගමන කෙළවර කළා. ඒ ගමනෙ කෙළවරට පැමිණියා. අර කියාපු ‘විජ්ජා - චරණ’ ගුණ දෙකෙන් ‘සම්පන්න වීම’ නිසාම බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රතිපදාවේ කෙළවරට හරියාකාරව පැමිණියා.

ඒ වගේම ඒ පැමිණිලා ලෝකය පිළිබද දතයුතු හැම දෙයක්ම තේරුම් ගත්ත බව තමයි ලෝකවිදූ ගුණයෙන් දක්වෙන්නෙ. ලෝකවිදූ කියන ගුණයත් නානා විධියට තෝරන්න පුළුවන්. ලෝක ධාතුන් පිළිබද දතයුතු හැමදෙක්ම අවබෝධ කරගත්තා. නමුත් වඩාත් එක තේරුම් ගන්න පුළුවන් මේ විදියට. දන් ඒ බාහිර ලෝකය ගැන නම් නොයෙකුත් දෙනා මේ කාලෙ විද්‍යාත්මක වශයෙනුත් තේරුම් ගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ විදියට ලෝකය ගැන තේරුම් පමණක් නොවෙයි ඒ ඒ පුද්ගලයාගේ ඇතුළත ලෝකයත් තේරුම් ගත්තා. පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකයත් තේරුම් ගත්තා. පුද්ගලයාට පරිසරය වශයෙන් තිබෙන බාහිර ලෝකයත් තේරුම් ගත්තා. දතයුතු හැමදෙයක්ම බුදු පියාණන් වහන්සේ ඒ පිළිබදව තේරුම් ගත්ත නිසා තමයි ලෝක විදූ කියල කියන්නෙ.

’අනුත්තරො පුරිසදම්ම සාරථී’ – එතකොට ඒ ලෝකවිදූ ගුණයම පිහිට කරගෙන බුදුපියාණන් වහන්සේ දමනය කළ හැකි පුරුෂයින් - දමනය කළ හැකි සත්වයින් දමනය කිරීමෙහිලා රථාචර්යයෙක් වගෙයි. ඉතාම දක්ෂ රියැදුරෙක් වගෙයි. බුදුපියාණන් වහන්සේට පුළුවන්කම තිබුණා ඕනම කෙනෙකු තමන් වහන්සේගේ ප්‍රඥාවෙනුත් කරුණාව කියලා කියන උපාය මාර්ගයෙනුත් හික්මවන්න. ඒ හික්මවීමේ ශක්තියයි මේ. කාට, කොතැනකදී, කොයි අන්දමකින්, කොයි විදියේ දේශනාවක් කරලා හික්මවන්න පුළුවන් ද කියන එක බුදුපියාණන් වහන්සේගේ බුද්ධඥානයට පැහැදිලිව වැටහෙනවා. ඉතින් ඒක නිසා අර ලෝකවිදූ ගුණය උපයෝගී කරගෙන බුදු පියාණන් වහන්සේට ‘අනුත්තරො පුරිසදම්මසාරථී’ කියල කියන විදියට ඒ සත්ත්වයින් දමනය කිරීමේ හැකියාව තිබුනා.

ඉතින් ඒ වගේම ‘සත්ථා දෙවමනුස්සානං’ - මනුෂ්‍යයින්ට පමණක් නොවෙයි දෙවියන්ටත් ශාස්තෘ වූ කියන එකයි.

ඊළඟට ‘බුද්ධො’ කියල කියන්නෙ පොදුවෙ සළකන කොට, අර කියාපු සියල බුද ගුණයෙන් සම්පූර්ණයි. ස්වයංභූ ඤානයෙන් බුද්ධ්‍වය ලැබූ වගේම අනිත් අයටත් අවබෝධ කරවීමේ ශක්තිය තියෙනවා.

භගවා’ කියන පදයේ ‘භාග්‍යවත්’ ‘වාසනාවන්ත’ කියන අදහසයි තියෙන්නෙ. ඒක තුළ තියෙනවා බුදුපියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුළින් ඇති කරගත්තු බුද්ධ ශරීරය තුළත්, බුදු පියාණන් වහන්සේගේ ගුණ සම්භාරයෙත්, ප්‍රඥාවෙත්, ඒ හැම එකක්ම තුළම දකින්න ලැබෙන වාසනා ගුණය, භාග්‍යය, භාග්‍ය මහිමය.

අන්න ඒ විදියට කෙටියෙන් සළකා ගත්තහම බුදුපියාණන් වහන්සේගේ නව ගුණය, ඊළඟට කරන්න තියෙන්නෙ ඒ නවගුණයම සැහෙන වෙලාවක් අනු පිළිවෙළින් කීමයි - ’ඉතිපි සො භගවා - අරහං - සම්මා සම්බුද්ධො – විජ්ජාචරණසම්පන්නො,– ආදි වශයෙන්. එහෙම කියන අතරේම තමන්ට වඩා හිතට අල්ලන, තමන්ට රුචිවන පදය තමන්ටම තෝරගන්න පුළුවන්. අන්න ඒ තෝරා ගැනීමේ දී - තෝරා ගත්ත නම් යම්කිසි පදයක් - ඒකට හේතු දක්වන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඇත්ත වශයෙන් කියනව නම්, ඒ ගුණ නවයට සැහෙන වෙලාවක් හිත යොදලා ඒකින් එක - තමන්ට හිතට ඒ තරම් අල්ලන්නෙ නැති ඒවා අතහරිමින්, නවය අටකරගෙන, අට හත කරගෙන, එහෙම අඩු කරගෙන ගිහිල්ල යම් කිසි ගුණයක් තමන්ට හිතට අල්ලනව කියල තෝරගත්ත නම්, තමන්ට හිතට අල්ලන්නෙ මොකද කියල තේරුම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඒක හරියට - දැන් ඉතාම ස්වාභාවික අන්දමින් කෙනෙකුට ඇල්මක් ඇතිවෙනකොට සාංසාරික සම්බන්ධයක් එක්ක, කෙනෙකුට ඇතුම් විට හිතෙනවා, “අනේ මං දන්නෙ නෑ මොකද කියල, මට නං මෙයයි හිතට අල්ලන්නෙ, මට නම් මෙහෙමයි” කියල. අන්න එහෙම කිව්වත් ඇති. “මං දන්නෙ නෑ මේ නවගුණයෙන් මට නම් හිතට අල්ලන්නෙ මෙන්න මේකයි.” කියල කියන්න පුළුවන් නම් ඒක තමයි ඉතාමත්ම ස්වාභාවික තෝරා ගැනීම. ඒ තුළින් හැගෙන්නෙ සාංසාරික වශයෙන් බුදුවරුන් ඇසුරු කිරීමේදී, බුදුවරුන් වහන්සේලා දකීමේ දී, දහම් ඇසීමේදී, තමාගේ හිතේ තැන්පත්වුනු බුදගුණයේ යම් කිසි අංශයක්. ඒ අනුවයි අර තෝරා ගැනීම. ඒකයි අපි කියන්නෙ ඒක ස්වාභාවිකය කියල. අන්න එහෙම තෝරගත්තහම තමයි අර රාහුල කුමාරය බුදුරජාණන් වහන්සේ ළහට කිට්ටු වෙලා - “මහණ, ඔබේ සෙවනතත් මට සැපයි” කියල කිව්ව වගේ වෙන්නෙ. “මට මේ වචනෙ ඇති.” මේ වචනය තුළින් බුදු රජාණන් වහන්සෙ දකිනවා නම්, මේක වටේ ආයිත් ගොතන්න වැඩක් නෑ. ඒක වර්ණනා කර කර නොයෙකුත් ලස්සන වචන, ලස්සන පාඨ කියව කියව ඉන්න ඕන නෑ. ඒක තුළින් කෙරෙන්නෙ හිත විසිරෙන එකයි.

  හරියට අර ජලාශයක බෝට්ටුවක් එහෙ මෙහෙ යන්නෙ නැතුව, ඒ අතට මේ අතට පද්දෙන්නෙ නැති හැටියට නංගුරමක් වගේ මොකක් හරි දාලා එක්තැන් කළා වගේ මේ හිත අර ගුණය තුළට බැහැගන්න ඕන. බැහැගෙන, ඒ ගුණය තුළින් බුදුපියාණන් වහන්සෙ දකින්න පුරුවෙන්න ඕන. එහෙම පුරුදුවුනාට පස්සෙ වැඩි වචන ඕනෙ නෑ. තමන් තෝරා ගත්තෙ ‘භගවා’ නම්, ‘භගවා - භගවා - භගවා’ කියන කොට, ඒක තුළින් සමාධියට පැමිණෙන්න පුළුවන්. ඒක විස්තර වශයෙන් හිතන්න ඕන නෑ. ඒ වචනය තුළින් බුදුරජාණන් වහන්සේ දකිනවා. දන් අර ළමයා ‘නමො බුද්ධස්ස’ කියල කිව්වා. ඒ කාලෙ බුදු රජාණන් වහන්සේ ජීවමානව හිටිය යුගයක්. දන් එතකොට මේ බෞද්ධ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ ජීවමානව නැත්නම් හිතින් දකින්න පුළුවන් උන්වහන්සේගේ ගුණ සම්භාරය. ශුද්ධාවන්තයාට, සම්මදිට්ඨිය ඇති තැනැත්තාට බුදු පියාණන් වහන්සේ හිතින් දකින්න පුළුවන්. එතකොට ඒ හිතෙන් දකීමට උපකාරීවෙන එක වචනය වුනත් සැහෙනවා. අන්න ඒ වචනය නොකඩවා, එහෙම නැත්නම් වෙන තැනකට හිත යන්න නොදී භාවනා කිරීම තමයි බුද්ධානුස්සති භාවනාව.

අපි බුද්ධානුස්සතිය ගැන විශේෂයෙන් කිව්වේ බොහොම දෙනා ඒක පුරුදු පුහුණු කරන නිසයි. ඒක තුළ යම් අඩුපාඩුකම් තියෙනවා නම්, මේ අපි කියාපු ඒවා හරියි කියල හිතෙනවා නම්, ඒ අනුව කෙනෙකුට හරිගස්සා ගන්න පුළුවන්.

එතකොට අනිත් භාවනා ගැන අපි ඉතාමත් කෙටියෙන් සඳහන් කරනවා, කාලවේලා ඇති හැටියට. ධම්මානුස්සතිය කියලා කියන්නෙ - ඒකත් මේ පින්වතුන් කොතෙකුත් අහල තියෙනවා, අර තරම්ම ප්‍රකට නැතත් – ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො, ඒහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහීති.’ ගුණ හයක් එතන කියවෙනවා.

‘ස්වාක්ඛාත’ ගුණය කියල කියන්නෙ, බුදුපියාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය, යහපත්ව දේශනා කළ එකක්. හොඳින් දේශනා කළ එකක්. ඒ හොඳින් දේශනා කළ එකක් කියන එක බුදුපියාණන් වහන්සේගේ ස්වරය අනුවවත්, ඒ දේශනා කළ වචනයේ ලක්ෂණ අනුවත් නොවේ මෙතන කියන්නෙ. බුදුපියාණන් වහන්සෙගේ ධර්මය යම් ඉලක්කයකට, යම් පරාමාර්ථයකට, එල්ල කොට දේශනා කළා නම්, ඒ පරමාර්ථයට යන ආකාරයට මුල - මැද - අග හොඳට සම්බන්ධව දේශනා කරපු එකක්. මේක නිරර්ථක එකක් නොවේ. තේරුම් රහිත එකක් නොවෙයි. මේ ධර්මය ප්‍රතිඵල ලබා දෙන එකක්. ස්වාක්ඛාත කියලා කියන්නෙ මනාව දේශනා කරන ලද එකක්. ප්‍රතිපත්තියට ගැලපෙන විදියට ප්‍රතිඵලයක් ලැබෙනවා. ප්‍රතිඵලයට ගැලපෙන විදියට ප්‍රතිපත්තිය තිබෙනවා. ඒ විදියට මුල - මැද - අග යහපත්ව දේශනා කරන ලද බවයි ‘ස්වාක්ඛාත’ යන වචනයෙන් ගන්න තියෙන්නෙ.

ඊළඟට ‘සන්දිට්ඨීක’ කියලා කියන්නෙ මෙලොවම, මේ ජීවිතයෙදිම, තමන්ට අත්දකින්න පුළුවන් මේකෙ ප්‍රතිඵල. මොකද, මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නෙ අපේ චිත්ත සන්තානය තුළ තිබෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස ධර්ම ඉවත් කරන මාර්ගයයි. එතකොට එයින් යම් ප්‍රමාණයක් ඉවත් වෙනවා නම්, තමන්ටම ඒ ඒ ප්‍රමාණයට ඒක මෙලොවම අත්දකින්න පුළුවන්. නැවත පරලොවක ලැබෙන දෙයක් නොවෙයි. මග පල නිවන් මෙලොවම ලබා ගන්න පුළුවන්. පරලොවක ලැබෙන නිවනක් නොවෙයි. අන්න ඒක නිසා ඒක සන්දිට්ඨීක ගුණයයි.

‘අකාලික’ කියලා කියන්නෙ කල්නොයවා විපාක දෙන එකක්. ඒකත් අරකටම සම්බන්ධයි. කෙනෙකුට යම් ප්‍රමාණයකට ලෝභයක්, ද්වේශයක්, මෝහයක් තියෙනවා නම් ඒ තැනැත්තාට ඒ ප්‍රමාණයටම හිතේ බරපතල දොම්නසක්, එහෙම නැත්නම් හිත දූෂ්‍ය වීමක් තිබෙනවා. ඒවා යම් ප්‍රමාණයකට ඉවත් කර ගත්තා නම් ධර්මයේ පිහිටෙන්, ඒ ඉවත් කර හැටියෙම සැනසුමක් තියෙනවා. ඒක අකාලිකයි. ඒක ගැඹුරින් දක්වන්නෙ ලෝකෝත්තර මාර්ගය පිළිබදව - ලෝකෝත්තර තත්වයෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමේදී. එකේදි කියවෙනවා මාර්ග - එල කියලා දෙකක්, ලෝකෝත්තර මාග්‍යත් එක්කම එලයට වැටෙනවා. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නෙ විදර්ශනාඥාන ඔස්සේ ගිහිල්ලා ලබාගන්නා ඉතාම සියුම් සමාධි තත්ත්වයක්. ඒකත් එක්කම එලයට වැටෙනවා. ඒක අකාලික ගුණය. කල්නොයවා විපාක දෙන ගතිය.

‘එහි පස්සික’ කියලා කියන්නෙ ‘එව-බලව’. ‘එව-බලව’ කියන එක තුළ තියෙන්නෙ ‘ක්‍රියාවට නැගීමට ආරාධනා කරන විදියෙ දෙයක්ය මේ ධර්මය’ කියන එක. ප්‍රායෝගික බවයි එතනින් පෙන්නුම් කරන්නෙ. ධර්මයම කියනවා - ‘එව-බලව’ - ‘මාව ක්‍රියාත්මක කරලා බලන්න’ කියල. ඒ තරමටම පුදුම විදියේ ප්‍රායෝගිකත්වයක් ධර්මයේ තියෙනවා. එතකොට ඒ අනුව තමයි, ‘එහි පස්සික’ කිව්වේ.

‘ඔපනයික’ කියන එක ටිකක් ගැඹුරු වචනයක්. එතනත් තේරුම් ගන්න තියෙන්නෙ, ‘එව-බලව’ කියලා කෙනෙක් කැඳවාගෙන යන්නෙ. එක්කරගෙන යන්නෙ. අන්න ඒ වගෙ ගුණයක් ධර්මයේ තියෙනවා. ධර්මයේ , එක එක තත්වවලට එක්කර ගෙන යන ගතියක් වගෙ එකකට එකක් සම්බන්ධවෙලා තිබෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම්, සම්මා දිට්ඨීය වඩන කොට දන්නෙම නැතුව වගේ සම්‍යක් සංකල්පය, හොඳ සංකල්පය, ඇතිවෙනවා. ඒක වඩන කොට, ඒකට අනුව, හොඳ වචන පිටවෙනවා. එතන ඒ විදියට අර යම් යම් ආකාරයකින් ජීවත් වෙනවා නම් - යම් යම් ආකාරයකට ධර්මානුකූලව ජීවත් වෙනවා නම් - ඒ ඒ තත්වවලට ඉබේම පමුණුවන ගතියක් තියෙනවා. ඔපනයික කියලා කියන්නෙ ඒකයි. ධර්මය විසින් ඇදගෙන යනවා. පමුණුවනු ලබනවා. එහෙම ගුණයක් මේ ධර්මයේ තියෙනවා.

‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී’ - නුවණැත්තන් විසින් සවකීය සන්තානයේ, තමන්ගේ සිත්සතන් තුළ, ප්‍රත්‍යක්ෂ කරගත හැකි අන්දමේ ධර්මයක් මේක. තමාටම අන්තිමට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ විදියෙ ගුණ සම්භාරයක් තමයි - ගුණ හයක් තමයි - ධර්ම ගුණ හැටියට දක්වල තියෙන්නෙ.

ඊළඟට සඟ ගුණ හැටියට - ඒකත් මේ පින්වතුන් නිතර අහලා තිබෙනවා. ‘සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවක සංඝො, ඤායපටිපන්නො භගවතො සාවක සංඝො, සාමීචි පටිපන්නො භගවතො සාවක සංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුගලා, එස භගවතො සාවක සංඝො, ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති’ - කියල ඔය විදියෙ පාඨයක්.

ඒක තුළත් ගුණ නවයක් තියෙනවා. එතකොට, ප්‍රධාන වශයෙන්ම ‘සුපටිපන්න’ කියල කියන්නෙ - ඒ අෂ්ට ආර්ය පුද්ගල සංඝරත්නය නිර්වාණ ගාමී ප්‍රතිපදාවට හරියට, යහපත්ව, පිවිසියා, ඒ ප්‍රතිපත්තියෙ යෙදෙනවා. ඊළඟට ඒ වගේම තමයි, ඒක වඩාත් අවධාරණය කිරීමට, වඩාත් ශක්තිමත්ව, දක්වීමටයි ‘උජුපටිපන්න’ කියන්නෙ. සෘජුව - ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සෘජු මාර්ගයක්. ඒ මාර්ගයට සෘජුවම, කෙලින්ම, අවංකවම බැහැලා කටයුතු කරන බවයි. ඊළඟට ඤාය පටිපන්නො - ක්‍රමවත්ව, එකකින් එකකට හරියට න්‍යායානුකූලව ඒ ප්‍රතිපදාවට බැස්සා. ඒ වගේම සාමීචි පටිපන්නො - නිවනට නැඹුරු හරියාකාරව ගමන් කරනවා. මේ හැම එකක්ම ප්‍රතිපත්තිය පිළිබදවයි කියන්නෙ.

ඊළඟට - ‘යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා එස භගවතො සාවක සංඝො’ - එනම් පුගල අටක් හැටියට සතරමග සතර ඵලවලට පැමිණි ආර්යයින් අටදෙනා පිළිබදවයි මෙතන කියවෙන්නෙ.

ඒ ගුණ සම්භාරය නිසාම ඒ සංඝයා වහන්සේලා පිළිබදව ඊළඟට කියවෙනවා පූජනීයත්වය. ‘ආහුනෙය්‍ය’ කියලා කියන්නෙ ඈත ඉදලා සිටුපසය ගෙනැල්ලා දෙන්න තරම් වටිනා කියන එකයි. පාහුනෙය්‍ය - තමන්ගේ නිවසෙ පිළියෙල කරගත්තා නම් නැයන් සඳහා හෝ අමුත්තන් සඳහා හෝ ආහාරයක්, පිණ්ඩපාතයේ වැඩියහම ඒකත් පූජාකරන්න සුදුසුයි, ගුණ සම්භාරය නිසා. ඒ වගේම ‘දක්ඛිණෙය්‍ය’ කියල කියන්නෙ විශේෂ පුද පූජා - කර්මඵල විශ්වාස කරගෙන කරන විශේෂ පුදපූජා පවා ලබන්න සුදුසුයි. ‘අඤ්ජලිකරණීයො’ කියල කියන්නෙ ඇඳිලි බැඳ - දොහොත් මුදුන් තබා - වඳින්න සුදුසුයි.

ඊළඟට - ‘අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස’ ලෝකයාට උත්තරීතර වූ පින්කෙතක් හා සමානයි, ඒ ගුණ සම්භාරය නිසා, දායක පින්වතුන්ට ඉතාමත්ම උසස් ආනිසංස ලබාදීමට තරම් පින්කෙතක්.

අන්න ඒ විදියට කාරණා රාශියක් එතන කියවෙනවා, සඟ ගුණ හැටියට. ඉතින් ඒ තුළින් කොයි වචනයකින් හෝ සංසයා වහන්සේලා පිළිබදව මෙනෙහි කිරීම පවා බුදුපියාණන් වහන්සේ දක්වනවා සංසානුස්සති වශයෙන් කෙනෙකුට ජීවිතයට ආරක්ෂාවක් වගේම අර ගාථාවල තියෙන ආකාරයට ප්‍රබෝධවත්ව පිබිදෙන්න හේතු වෙනවා. කොටින්ම කියතොත්, තුණුරුවන් මෙනෙහි කරන තැනැත්තාට එදිනෙදා ප්‍රබෝධවත්ව දවස ගත කරන්න පුළුවන් වෙනවා.

  ඊළඟට කියවෙන එක තමයි එතන කායගතා සතිය. කායගතා සතිය කියල කියන්නෙ මේ අපේ ශරීරයේ ස්වභාවය සිහි කිරීමයි. ඒකත් තුන් ආකාරයකට දක්වනවා. කායගතා සතිය ගැන මේ පින්වතුන් බොහෝ විට අහලා තියෙනවා. බුදුපියාණන් වහන්සේ මේ ශරීර කුඩුව උපමා කරනව දෙකොන ඇරුණු මල්ලකට. ධාන්‍ය පුරවපු, දෙකොන ඇරපු මල්ලක් වගේ. මේකේ තියෙනවා කුණප කොට්ඨාස තිස් දෙකක්. ඒ කුණප කොට්ඨාස පිළිබදව මෙනෙහි කිරීමයි මෙතන කියන්නෙ. හිසකේ ඉදලා යටිපතුල් දක්වා වූ මේ ශරීරයේ විවිධ කොටස් කුණප හැටියට පිළිකුල් වශයෙන් දකීම - කොටින්ම කියතොත්. ‘පටික්කුල මනසිකාර’ කියලා කියනවා. පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීම.

ඊළඟට ඒකටම අදාළ එකක් තමයි, මේ කායගතා සතිය ඇතුළටම එකතු කරන එකක් තමයි, අසුභ භාවනාව. දස අසුභයක් සඳහන් කරනවා. මේ ශරීරයෙන් විඤ්ඤාණය ඉවත්වුන හැටියේ, මරණයට පත්වුන හැටියෙ, ඉස්සර ඉන්දියාවෙ තිබුන සිරිත අනුව ගෙනිහිල්ල අමුසොහොනෙ දමනවා. අමුසොහොනෙ දම්මට පස්සෙ ඒ ශරීර කුඩුව දිරා යන ආකාරයෙ විවිධ අවස්ථා දහයක් දක්වනවා, අසුභ කම්ස්ථාන වශයෙන්. මේ ශරීරය වැඩී දවසක් යන්න කලින් ඉදිමිලා, නිල්වෙලා ඊළඟට පණුවන් වහලා, හැරව පිරිලා, අන්තිමට ඇට සැකිල්ලක් දක්වා යන තත්ත්වය ‘දස අසුභ’ හැටියට අවස්ථා 10 කින් දක්වනවා. අන්න ඒවා මෙනෙහි කිරීම. මේ ශරීරය පිළිබදව කලකිරීමයි මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නෙ. සාංසාරික සත්ත්වයා තුළ බලගතුව තිබෙන මේ ශරීරය පිළිබද ඇල්ම - රාගය - තමාගේ ශරීරයටත් අනුන්ගෙ ශරීරයටත් තිබෙන ඇල්ම, මේක තුළින් තමයි සංසාරයේ දිගින් දිගට යන්නෙ. මේ ශරීර කුඩුවට ඇල්ම තියෙන තාක් මේ කුරුල්ලා මෙහෙන් පිටවෙලා ගියත් ආයෙත් කැමැත්තෙන්ම තවත් කුඩුවකට ඇතුල්වෙනවා. තමන්ව කර්මානුරුපව කුඩුවක් මවාගෙනයි ඒකෙන් පිට වෙන්නෙ. තමන්ට ඕන හැටියටම නෙවෙයි තමන් කරපු කර්මානුරුපව කුඩුවක් මැවෙනවා. ඉතින් මැවුනට පස්සෙ ඊළඟට තියෙන්නෙ උත්පත්තිය එක්කම, ජරාව, ව්‍යාධිය, මරණ හය. ඕකයි සංසාර තත්ත්වය.

ඒ නිසා බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ශරීර කුඩුව ගැන කලකිරීම ඇති කර නොගෙන මේ සංසාරයෙන් නම් මිදෙන්න බෑ කියල. මේකට ඇල්ම ඇති කරගෙන බෑ නිවන් දකින්න. ඒක නිසා අපි අකැමැති වුනත් - ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා - නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා යම් ප්‍රමාණයකට කායගතාසතිය වැඩිය යුතුයි. කායගතාසතිය කියල කියන්නෙ අමුතු දෙයක් නොවෙයි. අපේ කයේ නියම තත්ත්වය. අපේ කයේ නියම තත්වය අපි බාහිරව ප්‍රදර්ශනය කරන්න කැමති නෑ. නමුත් අපි හිතෙන් සලකා ගන්න ඕන. ශරීරය ඇතුළේ තිබෙන දේවල් පමණක් නොවෙයි බාහිරව තිබෙන හැම එකක්මත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නෙ පිළිකුල් හැටියට. ඇත්ත වශයෙන්ම පිළිකුල් ස්වභාවයක් තිබෙනවා. නමුත් අපි ඒවා ආවරණය කර ගන්නවා. ඒවා ගැන සාමාන්‍ය ලෝකයාට අවබෝධයක් නෑ කෙලෙස නිසා. විඤ්ඤාණය සහිත මේ ශරීරයේ පිළිකුල් ස්වභාවයයි අර මුලින් කියාපු පිළිකුල් භාවනාවෙ තිබෙන්නෙ. දෙකොන ඇරුණු මල්ලක වගේ මේ ජීවමාන ශරීරය තුළ තිබෙන දේ ගැන මෙනෙහි කිරීම. ඊළඟට ඒවගේම මේක මියගියාට පස්සෙ එන තත්ත්වය - ඒක අනාගතයයි. මේ ශරීරයත් ඒ ධර්මතාවට යටයි, මේ ශරීරයත් ඒ වගෙයි කියලා ඒකට ආරෝපණය කරලා, සමාන කරලා හිතීම. ඒ තුළිනුත් කය ගැන කලකිරෙනවා. මේක මේ තත්වයට පත්වෙන දෙයක් නම් මේක ගැන අපි මේ හිතන තරම් උසස් හැටියට මාන්නයක් ඇති කර ගැනීම මෝඩකමක්ය කියන අවබෝධයක් එනවා. ඉතින් ඒ විදියටයි අසුභ භාවනාව.

ඒ ක්‍රමයටම තවත් එන එකක් තමයි ‘ධාතු කම්ස්ථානය’ කියල කියන්නෙ. ඒකත් මේ ශරීරය පිළිබද උපේක්ෂාවක් ඇති කර ගන්න - අර ඇලුම් ගැටුම් ආදියෙන් තොරව යම්කිසි උපේක්ෂාවක් ඇති කරගන්න - උපකාර වෙනවා. ඒ කියන්නෙ, මේ ශරීරය ධාතුන් 4 කින් සමන්විත එකක් කියලා හිතීම. මේ අපේ ශරීරයත් අනුන්ගෙ ශරීරත් අතර විශේෂයක් නෑ ධාතු වශයෙන් සලකන කොට. පඨවි, ආපො, තෙජො, වායො කියලා කියන, අපි සාමාන්‍යයෙන් නිදර්ශන වශයෙන් මහ පොළොවත්, ජලයත්, ගින්නත්, වායුවත් කියලා ගන්නා ඒවායින් සකස් වෙච්ච දේවල් තමයි මේ අපේ ශරීර කුඩුව. මේ හැම එකක්ම. අන්න ඒ විදියට ධාතු වශයෙන් මෙනෙහි කිරීම විශේෂයෙන්ම නුවණැත්තන්ට ඉක්මණින්ම ශරීරය පිළිබද උපේක්ෂාවක් ඇති කර ගන්න උපකාර වෙන බව බුදුපියාණන් වහන්සේ දක්වනවා. කොටින්ම කියතොත්, නිර්වාණාවබෝධය සඳහා මේ ධාතු කම්ස්ථානය තුළින් ධාතු හතර ගැනම යම් අවස්ථාවක සිතේ කලකිරීම ඇතිවෙන්න ඕන. සිත මුදා ගන්න ඕන මේ ධාතු හතරෙන්. මොකද, අර කියාපු කුඩුව මැවෙන්න මේ ධාතු හතරෙනුයි. පඨවි, ආපො, තෙජො, වායො කියන ධාතු හතරෙන් තමයි, අර මැටි අනලා ගෙයක් හදන්න වගේ මේ ශරීර කුඩුව මැවෙන්නෙ. ඒක මැවෙන්නෙ ඒවට තියෙන ඇල්ම නිසයි. මේ ධාතු හතර පිළිබදව සියුම් ආකාරයකින් ඇල්මක් අප තුළ තියෙනවා. ඒක ඉවත් කිරීමට තමයි ධාතු කම්ස්ථානය බුදුපියාණන් වහන්සේ වදාළේ. ඒක කරන දෙයාකාරයක් තියෙනවා.

මේ ජීවමාන ශරීරයම තමන්ම සලකලා බලනවා. කෙස්, ලොම්, නිය, දත්, ආදී තද ස්වභාවය ඇති දේවල් පඨවි ධාතුව නියෝජනය කරනවා. පඨවි ධාතුවට සාධක මගේ ශරීරයේ තිබෙනවා. කෙස්, ලොම්, නිය, දත් ආදී වශයෙන්. ආපෝ ධාතුව, දියාරු ස්වභාවයක් ඇති, ජල ස්වභාවය ඇති දේවල් - අර පිත්, සෙම්, සොටු, ලේ, සැරව, මූත්‍රා ආදී වශයෙන් - මගේ ශරීරයේ මේවත් තියෙනවා, ආපෝ ධාතුවට අයිති කොටස්. ඒවගේම තේජො ධාතුවේ ක්‍රියාකාරීත්වය මේ ශරීරයේ තියෙනවා. ඔය උණ ගැනීම, ශරීරයේ ආහාර පැසවීම, ශරීරයේ උෂ්ණය, තාපය, ආදිය දක්වන තත්ව තුළින් තේජො ධාතුවත් ඇතුළත තියනවා. ඒ වගේම වායෝ ධාතුව කියලා කියන මේ අපේ ආශ්වාස ප්‍රශ්වාසය, ශරීරය තුළ එහෙ මෙහෙ ගමන් කරන වාතය. මේ හැම එකක්ම වායො ධාතුවට අදාළයි. මෙන්න මේ ධාතු හතර.

ඊළඟට කල්පනා කරනවා මේ ඇතුළත තියන ධාතු හතරත්, පිටත තියන ධාතු හතරත් එකමයි. මේවා ඇතුළත තිබුනත්, පිටත තිබුනත් ධාතු වශයෙන් බලනකොට එකමයි. ඒතකොට ක්‍රම ක්‍රමයෙන් මේක ‘මමය’ ‘මගේය’ කියන මානය දුරු කර ගැනීමටත් උපකාර වෙනවා. පුහුමාන ආදිය ඉවත්වෙනව, මේ හැම කෙනෙකුගේම ශරීරයේ තියෙන්නෙ මේ ධාතු හතරම නේද කියල කල්පනා කරන කොට. ඔන්න ඔය විදියට මේ කායගතා සතිය බුදුපියාණන් වහන්සේ දක්වනවා. ඒකත් මෙනෙහි කරන කොට එදිනෙදා ඒ තුළින් විශාල සැනසීමක් ඇතිවෙනවා. ජීවන ගැටළු තුළින් ඇතිවන කැළඹීම් බොහෝ දුරට නැතිකර ගන්න පුළුවන්. ජීවිතයේ යථාර්ථය දකීමයි මේ කායගතා සතියෙන් කෙරෙන්නෙ. ජීවිතයේ යථාර්ථය දකිනව නම් දිවිනසාගන්න පෙළඹෙන්නෙ නෑ. තමාගේ ජීවිතය කෙටි බව තේරුම් ගන්නවා, මේ ශරීරයේ ස්වභාවය අනුව. ඕවයි කායගතා සතියෙ ආනිසංස.

ඒ වගේම දක්වනවා ‘අහිංසාය රතො මනො’ කියල අවිහිංසාව. අටුවාවෙ තෝරන්නෙ මේක කරුණා භාවනාවට විතරක් සීමා කරල. නමුත් අපට හිතාගන්න පුළුවන් අවිහිංසාව කියන එක ආකල්පයක් හැටියටයි මෙතන කෙලින්ම කියවෙන්නෙ. ‘අහිංසාය රතො මනො’ – අවිහිංසාවට කැමති වීම, අවිහිංසාවට ලැදිවීම, අවිහිංසාවට ඇලුම් කිරීම. අවිහිංසාවට ඇලුම් කිරීම කියන එක බොහොම වටින දෙයක් හැටියට බුදු පියාණන්වහන්සේ දක්වනවා. වැඩිපුර ලෝකයා තුළ තියෙන්නෙ හිංසාවට ඇලුම් කිරීමයි. ලෝකයා හැම තිස්සෙම බලන්නෙ තම තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහගන්න අනික් අයට හිංසා කරලා. යම් කෙනෙක් ඇතුළතින් ආකල්පයක් වශයෙන් ගොඩනගා ගන්නව නම් කිසිම කෙනෙකුට හිංසා නොකරන බව, එතන මෛත්‍රියත් කරුණාවත් දෙකම තියෙනව - කරුණාව පමණක් නොවෙයි. මෛත්‍රි - කරුණාමය ආකල්පයකින් යුක්තව ලෝකය දිහා බැලීමයි මෙතන අහිංසාවට ඇලුම් කරනවා කියල කියන්නෙ. අන්න ඒකත් කෙනෙක් එදිනෙදා පුරුදු කරනවා නම්, ඒ තැනැත්තාට ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්. පසුතැවිලි නැතිව ප්‍රබෝධවත්ම පිබිදෙන්න ශක්තියක් එනව අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව ආදී සිතිවිලි පවත්වනවා නම් එදිනෙදා ජීවිතයේ.

ඊළඟට කියවෙනවා - ‘භාවනාය රතො මනො’. ඒක පොදුවෙ අපි ගත්තෙ භාවනාවට ලැදියාව කියල. භාවනාවට ලැදියාවත් වටින දෙයක්, භාවනාව කියලා කියන්නෙ මොකක්ද? සිතේ නියමාකාර දියුණුවයි. එතකොට මේ කාලෙ සිත පිළිබදව නොයෙකුත් විදියේ දියුණු කිරීම් - විද්‍යා තාක්ෂණාදියෙන් යම් යම් දියුණු කිරීම් - ගැන කියවෙනවා. උගත්කමින් දියුණු කිරීම් ගැන කියවෙනව. නමුත් බුදුපියාණන් වහන්සෙ දක්වන මේ භාවනාවෙන් කෙරෙන දියුණුව ඊට වඩා විශේෂ දෙයක්. නිවන් කරා යන මාර්ගය. මේ සංසාරයෙන් එතරවීම සඳහා කළ යුතු යම් භාවනාවක් තියනවා නම්, අන්න ඒ භාවනාවට ලැදිවීම. එතන පොදුවෙ භාවනාව කියල කියන්නෙ හිතේ වැඩීම. හිතේ වැඩීම ලැදියාවක් හැටියට. ඒකෙ වටිනාකම තේරුම් අරගෙන, ඒකට මුල් තැන දෙමින් දවස ගත කිරීම වටිනා දෙයක්.

ඉතින් අන්න ඒක තුළින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ජීවන වටිනාකම් හයක් මතු කරල දීල තියෙනව මේ ගාථා හයෙන් - බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංසානුස්සතිය, කායගතා සතිය, අවිහිංසාව, ඊළඟට පොදුවෙ භාවනාවට ලැදියාව, භාවනාවට ඇල්ම. ඒ අපේ ජීවිත හැඩගස්වා ගැනීමයි. කොටින්ම අපි දන්නවා, මේ කාලෙ විශේෂයෙන්ම, අසහනයෙන් නින්දට වැටෙන, අසහනයෙන් පිබිදෙන, අසහනයෙන් ජීවිතය ගෙවන පිරිසක් මේ සමාජයේ වැඩි වශයෙන් සිටින්නෙ. ඒ අසහනකාරී තත්ත්වය ඇතිවෙන්නෙ එදිනෙදා සිතිවිලි වැරදි ආකාරයෙන් පවත්වන නිසා. දැන් මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ, නොයෙක් මාධ්‍ය ඔස්සේ හිත යොදන පින්වතුන්, එදිනෙදා ජීවිතය ගත කරන හැටි, දිවා රාත්‍රී ගත කරන හැටි. විශේෂයෙන්ම රාත්‍රී කාලය ගත කරන හැටි. කොයි විදියෙ දේවල් එක්කද, කොයි විදියෙ සිතුම් පැතුම් එක්කද කියල මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒවා තුළින් ඇත්ත වශයෙන්ම ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්ද, දවස සතිමත්ව, හොඳට සැපවත්ව ගත කරන්න පුළුවන්ද, කියන එකට මේ පින්වතුන්ටම සාධක ලබා ගන්න පුළුවන්. නමුත් මේ බුදු පියාණන් වහන්සේ දක්වන වටිනාකම් හය - මේ මාතෘකා හය ඔස්සේ - මෙන්න මේ නාලිකා හයෙන් එකක් තෝරා ගෙන ඒ අනුව සිතුම් පැතුම් පැවැත්වුවොත් බුදු පියාණන් වහන්සේ මෙතන පොරොන්දුවෙන ආකාරයට ‘සුප්පබුද්ධාව’, ඉතාම ප්‍රබෝධවත්ව උදෑසන අවදිවෙන්න පුළුවන්, ප්‍රබෝධවත්ව දවස ගෙවන්න පුළුවන්, සැනසිලිමත්ව දවස ගෙවන්න පුළුවන්. ඒ වගේම සිතේ වැඩීමක් ඒ එක්කම වෙනවා.

එතකොට ඒ අනුව අපට හිතාගන්න පුළුවන් මෙතන බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ වටිනාකම් රාශිය. මේවා අපේ ජීවිතයට ළං කරගන්න ඕන. එන්න එන්නම අපි පරිහානි මුඛයට යන්නෙ ජීවිතයේ නියම සාරධම්, වටිනාකම් පිළිබදව හරි අවබෝධයක් නැති නිසයි. මොකද, බුදුපියාණන්වහන්සේ දක්වනව මේ අපට ලැබිච්ච මනුෂ්‍ය හිත ඉතාමත්ම දුර්ලභ එකක් කියල. මේ සිතේ බුද්ධත්වය කරා දියුණු කරන්න පුළුවන් හැකියාවක්, ශක්තියක්, තියෙනවා. නමුත් අපි කරන්නෙ මොකක්ද? ඉතාමත්ම භයානක අන්දමින් නොයෙකුත් විදියේ නවීන ආටෝප්සාටෝප ජීවිත තුළිනුත්, නවීන විද්‍යාව තුළිනුත් ඉදිරිපත් කරන වටිනාකම් වලට පෙළඹිල ගිහිල්ල, ඇදිල ගිහිල්ල, ඒවා ඔස්සෙ අපේ ජීවිත විනාශ කරගන්නවා. අපේ සිතුම් පැතුම් කිලිටිවන අන්දමේ මාධ්‍යන් ඔස්සෙයි අපි දවස ගත කරන්නෙ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සෙ දක්වනව, අමුතු වියදමක් නැතිව - කිසිම වියදමක් නැතිව – තම තමන්ගේ ජීවිත සකස් කර ගැනීමට අර කියාපු විදියට ප්‍රබෝධවත්ව පිබිදීමට, ඒ අනුව මුළු දවස සැනසිලිමත්ව ගෙවීමට, ඕන ඔය කියාපු සිතිවිලි පරම්පරාවල් තමන්ගෙ චිත්ත සන්තානයේ ඇතිකරගන්න උත්සාහවත් වෙන්න කියල. දැන්, භාවනාව කියන එක, සාමාන්‍යයෙන් කෙනෙක් කල්පනා කරන්නෙ අර පර්යංකයෙන් ඉදගෙන ඉන්න අවස්ථාවේ විතරක් කරන දෙයක් හැටියට. නමුත් මෙතන බුදුපියාණන් වහන්සේ විශේෂයෙන් දක්වන්නෙ අනුස්සති කියල කියන සිහිපත් කිරීමයි. දන් අර කථාන්තරයෙනුත් පේනවා අර දරුවා ගැඹුරෙ, පොතපතේ කියන ආකාරයට ‘අරහං’ ගුණ ආදිය ගැන මොකක්වත් දන්නෙ නෑ. නමුත් බුදුපියාණන් වහන්සෙ දකලත් ඇති. කොහොම නමුත් බුදුපියාණන් වහන්සේ ගැන හැඟීමක් ඇතිකරගෙන, ශ්‍රද්ධාවක් ඇතිකරගෙන, ‘නමො බුද්ධස්ස’ කිව්ව හැටියෙ අර යක්ෂයා බයවුනා. අන්න ඒ විදියට අපි කල්පනා කරන්න ඕන. මේ බුදුගුණයට අපි ළං වෙන්න ඕන අර රාහුල කුමාරය ළං වුනා වගේ. පාණ්ඩිත්‍යය, උගත්කම, අනුව ශාස්ත්‍රීය අන්දමින් දීර්ඝ වචන රාශියක් - පාඨ රාශියක් - තුළින් නොවෙයි. ඒක එකක් වුනත් ඇති. මොකද ඒකට හේතුව? අපට එදිනෙදා ජීවිතයෙ පොතක් කියවනව වගේ තිතිපතා වඩන්න බෑ. දන් මෙතන කියවෙනව - ‘යෙසං දිවා ව රත්තෝ ව – නිච්චං බුද්ධ ගතා සති.’ මේ කියන ගෞතම ශ්‍රාවකය රෑ දවල් දෙකේම නිතිපතා බුද්ධානුස්සතිය වඩනව කියල. ඉතින් නිතිපතා බුද්ධානුස්සතිය වඩන්න නම්, අර වගේ මහා පාඨ රාශියකින් කොහොමද වඩන්නෙ, එදිනෙදා ජීවිතයෙ වැඩ කටයුතුත් එක්ක? නමුත් යම් කෙනෙක් කෙටියෙන් මේවා සළකනවා නම් - අපි හිතමු අර කිව්ව ආකාරයට කෙනෙකුට ‘අරහං’ ගුණය ඉතාමත්ම ප්‍රියයි, ‘භගවා’ ගුණය ඉතාමත්ම ප්‍රියයි - හොඳට ඒක තෝරා ගත්තා නම් සැහෙන වෙලාවක් හිත යොදල, නව ගුණයට හිත යොමු කරලා ඒකට අපි ධර්මතාවක් කියල කියන්නෙ මොකද? දන් අපි නිදසුනක් වශයෙන් කිව්වොත් - ‘අනුත්තරො පුරිසදම්මසාරථී’ කියල කියන්නෙ සත්ත්වයින් දමනය කිරීමෙහිලා ඉතාමත් දක්ෂ රථාචාර්යයෙක් වගේ.’ ඒ වචනය නම් බොහොම දිග වගේ පේන්නෙ. නමුත් ඇතැම් කෙනෙකුට ඒකත් රුචිවෙන්න පුළුවන්. මොකද, ඒකත් සාංසාරික හේතුවක් තිබෙන්න පුළුවන්. අතීතයේ, බුද්ධකාලයේ, බුදු රජාණන්වහන්සේ අංගුලිමාල දමනය ආදිය කරන අවස්ථාවේදී, බුද්ධබලය පෙන්නුම් කරන අවස්ථාවෙදි, ඒව දකල ඇතිකරගත්තු ශුද්ධාව නිසා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපට ස්වභාවික වශයෙන් යම්කිසි ගුණයක් හිතට අල්ලනවා නම්, ඒ ගුණය කෙටියෙන් මෙනෙහි කිරීම තමයි බුද්ධානුස්සතිය කියල කියන්නෙ. ඒක නම් පුළුවන් අර විදියට එදිනෙදා යන එන අතරෙ, විවේක අවස්ථාවල පමණක් නොවෙයි, ‘රස්තියාදු වෙනවා’ කියල කියන අපතේ යන වෙලාවල්වල පවා අර බුදුගුණයට හිත නතු කරලා තමා වඩාගෙන ආපු කම්ස්ථානය වඩන්න අවස්ථාව තියෙනවා.

ධම්මානුස්සතිය පිළිබදවත් එහෙමයි. කෙටියෙන් සළකාගන්න මේ ධර්මයේ ස්වභාවය. ඉතින් අපි සවිස්තරව වර්ණනා නොකළොත් මෙන්න මේ සාමාන්‍ය අදහස තේරුම් ගැනීම ප්‍රමාණවත්, කෙනෙකුට. මේකට ‘සතිය’ කියල කියන්නෙ සිහිය. බුදුන් වහන්සේ සිහිපත් කිරීම, ධර්මය සිහිපත් කිරීම, සංසයා සිහිපත් කිරීම.

ඒ වගේම තමයි කායගතාසතිය කියන එක. මේකත් අමුතුවෙන් භාවනා ආසනයෙම ඉදගෙන කරන දෙයක් නොවෙයි. අපි හිතමු - කෙල ගැහුවා, වමනයක් කළා. එදිනෙදා ශරීරකෘත්‍යය හා සම්බන්ධ කටයුතු කෙරෙනවා. ඒ අවස්ථාවේ ඒවා නිකං අපතෙ යන්න දෙන්න නරකයි. මේ ‘අපද්‍රව්‍ය’ කියලා නිකං අහක දාන්න නරකයි. එයින් ධර්මයක් දකින්න ඕන. එයින් ධර්මයක් දකින්න ඕන. ඇතැම් කෙනෙක් මේවා අපද්‍රව්‍ය කියලා, අහක දානවා, මේවායින් ප්‍රයෝජනයක් නොගෙන. දන් අපද්‍රව්‍යලින් කොතෙකුත් වැඩ ගන්න බව අපට මේ නවීන විද්‍යාත්මක ලෝකයෙ දකින්න ලැබෙනව. අපි අහකදාන දේවල් සමහරවිට පිටරටවල් වලට ගෙනිහිල්ල විශේෂ නිෂ්පාදන කරලා ගෙනැල්ලා ලොකු ගණන්වලට විකුණනවා.

එතකොට ඒ වගේම තමයි කල්පනා කරන්න තියෙන්නෙ. අපේ මේ ශරීරය තුළින් විසිකෙරෙන අපද්‍රව්‍ය වලිනුත් අපි ප්‍රයෝජන ගන්න ඕන, ධර්මානුකුලව . කොහොමද ප්‍රයෝජන ගන්නෙ? අන්න කායගතාසතියට දානවා. කෙළ ටිකත් කායගතා සතියට, මළ මූත්‍රා ටිකත් කායගතාසතියට. ඒ වෙලාවෙත් අපේ සිත වැඩෙනවා. අර භාවනාවෙන් වැඩෙනවා. ඒ තුළින් නිවනට කිට්ටු වෙනව. සසර පිළිබද ඇල්ම අඩුවෙනවා. මේ සංසාරයේ තව තවත් ශරීර කුඩු මවන්න ඇති ඇල්ම නැතිවෙල යනවා. ඉතින් අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නෙ මේක විරාග ධර්මයක් කියලා. මේ චතුරාය්‍යසත්‍ය ධර්මය තුළ තිබෙන්නෙ මේ සංසාරයෙන් ඉවත් වීමයි. ඒ සඳහා යන ගමනක් මේක. ඒ නිසා මේකට ඇල්මක් එක්කම මේ ගමන යන්න බැහැ. ක්‍රමක්‍රමයෙන් මේක පිළිබදව කලකිරීමක් ඇති කර ගන්න ඕන. ‘යථාභූත ඤාණය’ කියල කියන්නෙ ඇත්ත ඇති හැටි දකීම. ඇත්ත ඇති හැටි දකීමත් එක්කම කලකිරීම එන බව බුදුපියාණන් වහන්සේ දක්වල තියෙනවා - අනිවාර්‍ය වශයෙන්. ඇත්ත ඇති හැටි දකලා කල නොකිරී ඉන්න බෑ. ඇත්ත ඇති හැටි යම් ප්‍රමාණයකට දකිනව නම්, ඒ ප්‍රමාණයට සසර ගැන කලකිරෙනව. පැවැත්ම ගැන කලකිරෙනව. ඒ කලකිරීම තුළින් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නෙ. නිවන් දොර ඇරෙන්නෙ.

අන්න ඒ නිසා මේවාට හයවෙන්න නරකයි. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, අපේ පරමාර්ථය මේ භයානක සංසාරයෙන් හැකිතාක් ඉක්මණින් මිදීමයි. ඒක නිසා අර ගෙවල් දොරවල්වල තිබෙන බන්ධන - ඒවා කෙසේ වෙතත් අපි කල්පනා කරන්න ඕන අපි උපන්නෙ තනියම, මැරෙන්නෙත් තනියම. මේ සංසාරයෙ අපි තනියමයි යන්නෙ. ඥාති සම්බන්ධකම් තාවකාලිකයි. ඒ නිසා අපේ විමුක්තිය අපටයි අයිති. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “මටවත් බෑ කෙනෙක් මුදාගන්න. ඒක ඔබටම හාරයි.” කියල. තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. එතකොට අපට නම් මේක අයිති - මේ අපේ සිත, මේ බුද්ධෝත්පාද කාලේ, මේ දුර්ලභ අවස්ථාවේ, මනුෂ්‍ය ආත්ම භාවයේ, අර කියාපු මිනිස් සිත යෙදිය යුත්තෙ ඉතාමත්ම ඵලදායක දෙයකටයි. සාමාන්‍යයෙන් ලෝකෙ කොතෙකුත් දේවල් තියෙන්න පුළුවන් ලාභ ලැබෙන රැකිරක්ෂාවල් එහෙම. නමුත් ඒව නොවෙයි. මනුෂ්‍යාත්ම භාවයෙන් ගතයුතු උපරීම ප්‍රයෝජනය තමයි මේ බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙන්නෙ. වැඩිය යුතු සාරධර්ම හයක් හැටියට දක්වලා තියෙන්නෙ. ඒ නිසා මේ පින්වතුන් නුවණින් කල්පනා කරන්නට ඕන. තම තමන්ගේ ජීවන රටාව තුළ බොහෝ දෙනාට තියෙනව දින චරියාවක්. ඒ දින චරියාවට මෙන්න මේවා එකතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ හයම බැරි නම් ඒයින් කීපයක් හරි. මෙන්න මේ නාලිකා ඔස්සේ තමන්ගේ සිතුම් පැතුම් යෙදෙව්වොත් ඒ අය ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්. අර කියාපු අසහනකාරී තත්ත්ව වලින් මිදෙන්න පුළුවන්. නිවනට, තමන් හිතුවටත් වඩා ඉක්මණින් කිට්ටුවෙන්න පුළුවන් - මේ නියම ලැදියාවල් ඇති කරගත්තහම. බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ ධර්මයේ පමුණුවන ස්වභාවයක් තියෙනවා කියලා. ධර්මයේ යෙදෙන කොට ධර්මය විසින් තව තවත් ඉදිරියට කෙනෙක් පමුණුවනවා. මොකද, ධර්මය ඉක්මණින්ම ආනිසංස දෙන නිසා. ධර්මයේ ආනිසංස දකින කොට තව තවත් ඒ මාර්ගයට යොමු වෙනවා.

ඉතින් අපට තියෙන්නෙ නියම සාරධර්ම හඳුනාගෙන, නියම රුචිකත්වය ඇතිකරගෙන ඒ මාර්ගයට බැසීමයි. ඒ තුළින්, බුදුපියාණන් වහන්සේ ප්‍රතිඥා කරන අන්දමට අපේ ජීවිතවල තියෙන භයානක පරිහානි තත්ව මහහරවාගෙන යම් කිසි සැනසුමක් ළහාකරගන්න පුළුවන්. මේවා මිල මුදල්වලින් කරන්න බැහැ. අප ළඟමයි මේකෙ රහස තියෙන්නෙ. ඒ බව කල්පනා කරලා මේ පින්වත් පිරිස අද වැනි විටින දවසක - මේ ඇසල පුර පසළොස්වක පෝය දවස කියන්නෙ මුළු මහත් විශ්වයටම බුද්ධ ගුණය, ධර්ම ගුණය, සඟ ගුණය විකාශනය වුන, අවීචියේ සිට අකනිටාව දක්වා විහිදුන ධම් ශක්තියක් ඇති, අවස්ථාවක්. එතකොට, විශ්වය පුරා පැතිරුනු බුද්ධ ශක්තියක්, ධර්ම ශක්තියක්, සංඝ ශක්තියක් තිබෙද්දි, අපි අපේ ජීවිත නොවටිනා දේවල්වලට, නිසරු දේවල්වලට, කැප කරලා මේ ජීවිතේ ගෙවා දැම්මොත්, අපටමයි පසුතැවිලි වෙන්න සිද්ධවෙන්නෙ.

අන්න ඒ නිසා නුවණින් කල්පනා කරලා, මේ පින්වත් පිරිස, මේ වටිනා දවසේ ඒ ඒ මට්ටමින් යම් ශීලයක් සමාදන් වෙලා, අර කියාපු ප්‍රතිපදාවට ළං වෙලා කය වචනය හික්මවා ගත්තා. අර වගේ යම්කිසි භාවනාවකින් සිත තැන්පත් කරගෙන මේ කාලය ගතකළා. දන් ධර්මශ්‍රවණ වශයෙන් මේ අවස්ථාවේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම , බල ධර්ම තමන්ගේ චිත්ත සන්තානයේ වඩා ගැනීමට අවශ්‍ය වන කාරණා සිතේ තැන්පත් වෙන්න ඇතිය කියල හිතනවා. ඒ වගේම මේ ඇතිකරගත්තු අධිෂ්ඨානය තුළින් තමතමන්ගේ ජීවිත වඩාත් ආලෝකවත් කරගෙන, කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාග්‍ය ඵල ප්‍රතිවේධයෙන් මේ ජීවිතයේදීම අමාමහ නිවන් සාක්ෂාත් කිරීමට මේ රැස්කරගත් කුශල සම්භාරය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා!

ඒ වගේම මේ ධර්මදේශනාමය, ධර්මශ්‍රවණමය වශයෙන් රැස්කරගත් කුශල සම්භාරය අවීචියේ සිට අකනිටාව දක්වා වූ යම්තාක් සත්ත්ව කෙනෙක් සිටිනවා නම් ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම රාජයන් වහන්සේලාත් අපගේ ඥාතීනුත් ඇතුළු, ඒ හැම කෙනෙක්මත් මේ කුශලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රර්ථනීය බෝධියකින් හැකිතාක් ඉක්මණින් උතුම් අමා මහ නිවනින් සැනසීමට පත්වේත්වා! කියල මේ ගාථාවලින් පින් පමුණුවන්න.

‘එත්තාවතා ච අම්හේහී…………….’